Monday, November 6, 2017

ලක්ෂ ගනනකින් හැත්තෑවක් වෙනුවෙන්



ලංකාවේ දැනට ආබාධිත ජනගහනය ලක්ෂ දාහතක් පමණ වේ. ඒ අතරට සියලු ආබාධ සහිත
 පුද්ගලයන් අයත් වේ. ඒ ඒ ආබාධිත තත්ත්වයන් සඳහා විවිධ හේතු බලපාන බව ඔබ මා
 දන්නා කාරණයකි.
 කුමන ආකාරයක ආබාධිත තත්ත්වයක පසුවුව ද ආබාධිත ප්‍රජාව නිරන්තරයෙන් උත්සහ
 ගන්නේ සමාජයට, රටට බරක් නොවී ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීමට ය. ඒ සඳහා
 ඔව්නට පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන්, ගුරුවරුන් මෙන්ම සමාජයේ
 බොහෝදෙනා ද සහය වේ. ඒ සහය ලබා දෙන්නේ අනුකම්පාවට වඩා එහා ගිය
 පරමාර්ථයකිණි.  ඒ  නම් අනාගතයේ දී ස්වාදීනව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව
 සකසා දීම සඳහා ය.
 අද වන විට ආබාධිත පුද්ගලයන් අධ්‍යාපනය  ලැබීමේ ප්‍රතිශතය අතීතයට වඩා ඉහළ
 ය. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් වෙනුවෙන් පවතින පහසුකම් මෙන්ම අනාගතය ස්වාදීන
 වීමේ දී අධ්‍යාපනය යන සාධකය ඉතාම වැදගත් වන බැවිනි. ඒ නිසාම වසරින් වසර
 විශ්වවිද්‍යාලවලින් පිට වන ආබාධිත පුද්ගලයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ඔව්න්
 සාමාන්‍ය පුද්ගලයන් සමගම ඒ අධ්‍යාපනය ලබමින් සටන් කරන්නේ අබිමානවත්
 ජීවිතයක් ගත කිරීම සඳහා ය. කැපවීමෙන්, උනන්දුවෙන් සහ උත්සහයෙන් තම ආබාධිත
 තත්ත්වය මද්‍යයේ උවද අධ්‍යාපනය ලබන මේ පිරිස අද වන විට මුහුණපාන
 බැරෑරුම් ගැටලුවක් වී ඇත්තේ රැකියා ලබා ගැනීම ය.
 රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයකට අනුව ද ආබාධිත  පුද්ගලයන් සඳහා
 රැකියා ලබාදීමේදී 3% ක අවස්ථාවක් හිමි විය යුතු ය. නමුත් එය ඒ ලෙස
 ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ නිලදාරීන්ගේ ආකල්ප මත ක්‍රියාත්මක වන රැකියා
 ලබා දීම තුළ අද වන විට රැකියා විරහිත ආබාධ සහිත උපාධිදාරීන් ප්‍රමානය
 70කට ආසන්න ය. මෙය 2018 වසර වන විට සියයක් විය හැකි ය. ආබාධ රහිත
 පුද්ගලයෙකුට නම් ත්‍රීරෝධ රථයක් ධාවනය කිරීම, ඇඟලුම් කම්හලක සේවය කිරීම
 වැනි කටයුත්තක්වුව ද කළ හැකි ය. නමුත් ආබාධිත පුද්ගලයන්ට ඇතැම් දෑ කළ නො
 හැකි ය. කළ හැකි දෑ සඳහා අවස්ථා නොලැබෙන්නෙ ආබාධිත බව මූලික කර ගෙන ය.
 මේ අනුව සියලු ආබාධිත ප්‍රජාව මුහුණපාන රැකියා ගැටලුව සහ රජයේ රැකියා
 ලබාදීමේ දී 3% අවස්ථාව තහවුරු කර ගැනීම පිළිබඳව  මාධ්‍ය හමුවක් පවත්වා
 රජය සහ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත ය. 2017-11-11 වන දා පෙ.ව. 10-45
 ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිදාරීන්ගේ මන්ඩලය, ඉඩම, මොරටුව යන ස්ථානයේ දී
 එම මාධ්‍ය හමුව පැවැත්වීමට අපේක්ෂිත ය.
 ඔබ මාධ්‍යවේදියෙක් නම් හෝ මාධ්‍ය අනුග්‍රහයක් ලබාදිය හැකි නම් මේ සඳහා
 සහය වන්න. රජයට හා විශේෂයෙන් රාජ්‍ය පරිපාලන, සමාජ සේවා අමාත්‍ය අංශවලට අමතක වී ඇති ආබාධිත
 ප්‍රජාවගේ මෙම ගැටලුව පිළිබඳව මාද්‍ය හමුව ඔස්සේ සමාජය වෙත ගෙන යාම අපගේ

 අරමුණ වේ. ඒ සඳහා ඉහත කී ආකාරයේ සහයෝගයක් ලබා දිය හැකි නම් සම්බන්ධ වන්න.